Thursday, October 13, 2011

අපි දැන්වත් කතාකරමු

කතාව කොහෙන් කොහොම පටන්ගන්ද කියලා හිතා ගන්න බෑ. ඒ තරමටම හිතට දුකයි. මේ රට අලුත් මගකට ගෙනියන ඒ සටන ආරම්භ කලේ 2005 දී. එදා මහින්ද මහත්තය දිනවන්න වෙහෙස වුනේ මේ රටට ඇත්තටම ආදරයක් තිබ්බ මිනිස්සු. එදා ඒ ගමනට බාධා කරපු, කකුලෙන් ඇදපු මිනිස්සු අද මහින්ද මහත්තයා ගාව රජ වෙලා. එදා දරදිය ඇද්ද මිනිස්සු දොර මුල්ලට දාලා. භාරතට වුනෙත් අන්න ඒක. ඒ පැත්තේ ඉදන් මේ පැත්තට ආපු හැමෝම නරකයි කියන්න බෑ. නමුත් තමන්ගේ වාසියට රටට විනකරන කාලකණ්නි රොත්තකුත් ඒ අතර ඉන්න බව රටම දන්නවා. හිතට දුක රටට ආදරය කරන ජනතාව දුක් විදලා පත්කරපු නායකයෝ අර කාලකණ්නින්ව රකින එක ගැනයි.

ත්‍රස්තවාදය දිනෙන් දින පරාදකරගෙන ඉදිරියට යනකොට මේ රටට ආදරය කරන මිනිස්සු එකම අධිෂ්ඨානයකින් එකම සිතකින් එකට එක් වෙලා තමන්ගේ උපරිම ශක්තිය රටට දුන්නා. ඒ දුන්නේ අලුත් රටක් යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු පොදි බැදගෙනයි. යුද්ධයට පස්සේ ඒ අනාගතය කරා පුදුමාකාර ගැම්මකින් දිවයන්න අප බලාගෙන හිටියත් තාම ඒ ගමන යන්න පටන් අරගෙන නෑ කියන එකයි හිතට දැනෙන්නේ. ජාතියේ අවාසනාවට මහින්ද මහත්තයයි සරත් මහත්තයයි දෙකට බෙදිල ඡන්දෙට ඉදිරිපත් වුන එකෙන් එකතු වුන ජාතිය දෙකඩ වුනා. එදා ඉදන් අද වෙනකම් ඉතිහාසය අපට දුන් ස්වර්ණමය අවස්ථාව ටිකෙන් ටික විනාශ වෙන හැටි දකින්න තරම් අප අවාසනාවන්ත වුනා. මේ විනාශය දැක දැක නිහඩව සිටියොතින් අනාගත පරපුරේ සාපයට ලක් වීම අපට වලක්වන්න බැරි දෙයක් වේවි.